ජාතික රක්ෂිත හා අභයභූමි ආරක්ෂාව
වර්තමානය වන විට ජීවීන් ගේ අනාගතය බලවත් ඛෙදවාචකයක් බවට පත් වෙමින් තිබේ. එල්ල වී ඇති හා එල්ල වෙමින් පවතින තර්ජන හා අභියෝගයන් හමුවේ වන ජීවීහු විශාල ප්රමාණයක් මිහි මතින් වඳ වී යැමේ තර්ජනයට මුහුණ දී සිටිති. අද දවස වන විට අප රට තුළ ද මේ තත්ත්වය ප්රබල අර්බුදයක් බවට පත් ව තිබේ. මේ තත්ත්වය මත වන ජීවීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි සැලකිල්ලකින් හා වැඩි වගකීමකින් කටයුතු කිරීමට සිදු ව තිබේ. එහි දී සත්ත්ව හා ශාක විශේෂ පිළිබඳව අවධානය යොමු කිරීම මෙන්ම එම සත්ත්ව හා ශාක විශේෂයන්හි වාසස්ථාන පිළිබඳව අවධානය යොමු කිරීම ද විශේෂයෙන් වැදගත් වේ.
ශ්රී ලංකාවේ වනජීවීන් ආරක්ෂා කිරීමේ කාර්යාවලියේ දී වඩා ප්රමුඛ වන්නේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත වේ. මුල් කාලයේ පටන් විවිධ සංශෝධනයන්ට බඳුන් වූ මේ පනත අවසාන වතාවට සංශෝධනය වූයේ 2009 අංක 22 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගිනි. 2009 අංක 22 දරන සංශෝධනය මගින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත විශාල වශයෙන් සංශෝධනයට ලක් ව තිබේ. විශේෂයෙන් මේ පනත මගින් වන ජීවීන්ට ආරක්ෂාව සැපයීමේ දී ප්රධාන ක්රමවේදයන් දෙකක් යොදාගෙන තිබෙනු දක්නට ලැබේ. එනම් ආරක්ෂිත විශේෂ නම් කිරීම හා ආරක්ෂිත ප්රදේශ ප්රකාශයට පත් කිරීම ය. මේ ලිපියෙන් විමසා බැලෙන්නේ ආරක්ෂිත ප්රදේශ ප්රකාශයට පත් කිරීමේ කාර්ය පටිපාටිය හා ඒවාට ලැබෙන ආරක්ෂාවේ මට්ටම පිළිබඳ ව ය.
වනසත්ත්ව හා වෘCaෂලතා ආරක්ෂක පනතේ 2 වැනි වගන්තිය අනුව විෂයභාර අමාත්යවරයා විසින් ගැසට් පත්රයේ පළ කරනු ලබන නියෝගයක් මගින් නිශ්චිතව මායිම් දක්වා ඇති යම් භූමියක් ආරක්ෂිත ප්‍රදේශයක් වශයෙන් ප්රකාශයට පත් කිරීමේ හැකියාව තිබේ. පනතේ 2(2) වගන්තියට අනුව අමාත්යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක මාර්ගයෙන් ලංකාව ඇතුළත (ජාතික රක්ෂිත භූමියක් ලෙස ප්රකාශිත ඉඩමක් නො වන) යම් නිශ්චිත භූමි ප්‍රදේශයක් මේ ආඥා පනතේ කාර්ය සඳහා අභය භූමියක් ලෙස ප්රකාශ කළ හැකි ය. අභය භූමියක් ලෙස ප්රකාශිත ප්රදේශයකට රජයේ ඉඩම් හා රජයේ නො වන ඉඩම් යන දෙවර්ගයේ ම ඉඩම් ඇතුළත් විය හැකි බව පනතේ 2(3) වගන්තියේ දක්වා තිබේ. එහෙත් සියලු ම ආකාරයේ ජාතික රක්ෂිත (National Reserve) තුළ තිබිය හැක්කේ රජයේ ඉඩම් පමණි. මේ නිසා ජාතික රක්ෂිතයක් ප්රකාශයට පත් කිරීමට ප්රථමයෙන් අදාළ මායිම් ඇතුළත පිහිටි පෞද්ගලික ඉඩම් රජයට පවරා ගැනීම කළ යුතු ය.
ජාතික රක්ෂිත භූමියකට ඇතුළු වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විධිමත් අවසරයක් ලබාගත යුතු අතර ජාතික රක්ෂිත භූමියක් තුළ පහත සඳහන් පරිදි ක්රියා කිරීම තහනම් වේ.
බලපත්‍රයක් නොමැති ව ඇතුළු වීම හෝ රැඳී සිටීම, බලපත්‍රයක් සහිතව ඇතුළු වීම, එහි කොන්දේසි උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීම, සතුන්ට හා ශාකවලට හානි කිරීම, වගා කිරීම සඳහා හෝ ඛනිජ සෙවීම සඳහා හෝ වෙනත් කටයුතු සඳහා හෝ බිම් සැකසීම හෝ කැණීම, ගින්නක් දැල්වීම හෝ ගින්නක් රැගෙන යැම, සතුන් හෝ ශාක විනාශ කළ හැකි හෝ ඒවාට හානි කළ හැකි හෝ කිසියම් උපකරණ, මෙවලම්, උගුල්, පුපුරන ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය භාවිතය හෝ ළඟ තබා ගැනීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැඟිලි ඉදි කිරීම හෝ එවැන්නක පදිංචි වීම, බාහිරින් යම් සතකු ගෙන ඒම, එසේ ගෙන එන සතුන් නිදහස් කිරීම නැත හොත් අයාලේ යැමට සැලැසීම තහනම් වේ.
ශ්රී ලංකාව තුළ ජාතික රක්ෂිත වර්ග 07ක් ප්රකාශ කළ හැකි බව (2009 අංක 22 දරන සංශෝධනයට පෙර) පනතේ සඳහන් වේ. ඒවා නම් දැඩි ස්වාභාවික රක්ෂිත හෙවත් තහනම් අඩවි ((Strict Natural Reserve), ජාතික වනෝද්යාන (National parks), ස්වාභාවික රක්ෂිත (Nature reserves), වන පිවිසුම් (Jungle corridors), ආරක්ෂිත ස්ථාන (Refuges), සමුද්රීය රක්ෂිත ප්රදේශ (Marine reserves) සහ සීමාන්තරික කලාපයන් (Buffer zones) වශයෙනි. මේ ජාතික රක්ෂිත අතරින් ඉහළ ම ආරක්ෂාවක් ලබා දී තිබෙන්නේ දැඩි ස්වාභාවික රක්ෂිතයන්ට ය. එවැනි රක්ෂිතයක් තුළට පිවිසීම සඳහා අවසර ලැබෙන්නේ රාජකාරිමය කටයුත්තක් සඳහා හෝ විද්යාත්මක පර්යේෂණයක් හෝ සඳහා පමණි. මෙයට අමතරව තවත් ජාතික රක්ෂිත වර්ගයක් වූ "අන්තර් කලාප" (Intermediate zones) 1993 අංක 49 දරන සංශෝධනය මගින් අවලංගු කරනු ලැබී ය. මේ "අන්තර් කලාප" එවකට ප්රකාශයට පත් කරනු ලැබුවේ බලපත්‍ර ලබාගෙන සතුන් දඩයම් කිරීමට අවසර සහිත ප්රදේශ ලෙස ය.
2009 අංක 22 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් ජාතික රක්ෂිත පිළිබඳව සඳහන් වන ප්රධාන ප්රඥප්තියේ 2(1) වගන්තිය වැදගත් සංශෝධනයකට ලක් කර තිබේ. එනම් 2(1) වගන්තියේ "ඉ" යටතේ සඳහන් වූ ආරක්ෂා ස්ථානයක්" යන්න ඉවත් කොට ඒ සඳහා "සමුද්රීය ජාතික උද්යාන" යන්න ආදේශ කර තිබේ.
එමෙන් ම ප්රධාන ප්රඥප්තියේ "අභය භූමි" පිළිබඳව සඳහන් වන්නා වූ 2(2) වගන්තියේ ද 2009 අංක 22 දරන සංශෝධනය මගින් යම් වෙනසකට භාජන කර තිබේ. එනම් 2(2) වගන්තියේ "අභය භූමියක් ලෙස ප්රකාශ කළ යුතු ය" යන වචන වෙනුවට අභය භූමියක් හෝ වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්රකාශ කළ යුතු ය" යනුවෙන් සංශෝධනයට ලක් කර තිබේ.
මෙයාකාරයට නම් කර තිබෙන ජාතික රක්ෂිතවලට සැපයෙන නීතිමය ආරක්ෂාව පිළිබඳ විමසීමේ දී ඉහළ ම ආරක්ෂිත තත්ත්වයක් හිමි වන්නේ දැඩි ස්වාභාවික රක්ෂිතවලට ය. සාමාන්‍ය තත්ත්වයන් යටතේ මේ කලාපයකට ඇතුළු වීමට ඉඩ ප්‍රස්ථාවක් ලැබෙන්නේ නැත. එම නිසා මේ කලාප හැඳින්වීම සඳහා තහනම් කලාප යන පදය ද භාවිත කෙරේ. පනතේ 4 වැනි වගන්තිය අනුව දැඩි ස්වභාව රක්ෂිතයක් තුළට ඇතුළු වීමට කෙනකුට බලපත්‍රයක් ලබා දිය හැක්කේ නිල කටයුත්තකට හෝ විද්යාත්මක පර්යේෂණ අධ්‍යයනයක් නැත හොත් ගවේෂණයක් සඳහා පමණි.
අනෙකුත් ආකාරයන්වල ජාතික රක්ෂිතවලට ඇතුළු වීම හා රැඳී සිටීම පිළිබඳව ප්රකාශිතව සඳහන් වන්නේ පනතේ 5 වැනි වගන්තිය (ජාතික වනෝද්යාන) හා 5 අ වගන්තිය (ස්වාභාවික රක්ෂිත) යන වගන්තීන් යටතේ ය. ඒ අනුව ජාතික වනෝද්යානයක සිටින ජීවීන් අධ්යයනය හෝ නැරඹීම සඳහා නියමිත ගාස්තුවක් ගෙවා බලපත්‍රයක් ලබාගත යුතු ය.
මේ තහනම් ක්රියාවන් සඳහා ව්යතිරේ‚ අවස්ථා ප්රධාන ප්රඥප්තියේ 3(3) වගන්තිය තුළ අන්තර්ගත වී තිබිණි. එහෙත් එම වගන්තිය 2009 අංක 22 දරන සංශෝධන පනත මගින් ඉවත් කොට 3(අ) සහ 3(ආ) යනුවෙන් නව වගන්ති දෙකක් එකතු කර තිබේ. එනම් "යම් තැනැත්තකු විසින් යම් ජාතික උද්යානයක, ස්වාභාවික රක්ෂිත භූමියක, සමුද්රීය ජාතික උද්යානයක වන පිවිසුමක සීමා ඇතුළත පිහිටි යම් ඉඩමක් මත හෝ යම් අභය භූමියක් තුළ වූ යම් රජයේ ඉඩමක් මත ක්රියාත්මක කිරීමට නීතියෙන් හෝ චාරිත්රයෙන් හෝ ව්යවහාරයෙන් හෝ සාම්ප්රදායික පරිචය අනුව අත් කරගෙන ඇත්තා වූ අයිතිවාසිකමක් එම ජාතික උද්යානය, ස්වාභාවික රක්ෂිත භූමිය, සමුද්රීය ජාතික උද්යානය, වන පිවිසුම හෝ අභය භූමිය පිහිටුවීමේ දිනයට පෙරාතුව ඒ තැනැත්තා විසින් එසේ අත් කරගනු ලැබූ අයිතිවාසිකමක් ඒ තැනැත්තා විසින් ක්රියාත්මක කිරීම මේ වගන්තියේ කලින් සඳහන් විධිවිධානවල ඇතුළත් කිසිවකින් තහනම් කරන ලෙස හෝ සීමා කරන ලෙස නො සැලකිය යුතු අතර එසේ තේරුම් නො ගත යුතු ය." යනුවෙනි. රුහුණ ජාතික වනෝද්යාන ඇතුළත ඇති පටනංගල ධීවර ගම්මානය මෙයට උදාහරණයකි. එමෙන් ම යාල නැඟෙනහිර හා රුහුණු ජාතික වනෝද්යාන තුළින් කතරගම තෙක් වාර්ෂිකව කෙරෙන පාද යාත්රාව ද මේ සඳහා තවත් උදාහරණයකි.
ජාතික රක්ෂිත සඳහා ආරක්ෂාව සැපයීමේ දී එහි සීමා මායිම් තුළ සිදු වන විනාශකාරී ක්රියාවලට අමතරව එම මායිම්වලින් පිටත සිදු වන ඇතැම් ක්රියාවන් නිසා ද ජාතික රක්ෂිත සඳහා අහිතකර බලපෑම් ඇති විය හැකි ය. මේ පිළිබඳව විධිවිධාන පනතේ 3(1) වගන්තියේ දක්වා තිබේ. එනම් කිසි ම ජාතික රක්ෂිතයක හෝ එහි මායිමේ සිට සැතපුමක් තුළ කිසි ම අයකුට සංචාරක හෝටලයක් ඉදි කිරීම හෝ සංචාරක හෝටලයක් පවත්වාගෙන යැම හෝ සංචාරක හෝටලයක් පපයනු ලබන සේවා හෝ පහසුකම්වලට සමාන පහසුකම් හෝ සේවා සැපයීම තහනම් වේ. එමෙන් ම මෙයට අමතරව 2009 අංක 22 දරන සංශෝධනය මගින් තවත් නව වගන්තියක් 3 (2) නමින් ඇතුළත් කර තිබේ. එහි සඳහන් වන්නේ කිසි ම තැනැත්තකු විසින් ජාතික රක්ෂිත භූමියක මායිමේ ඕනෑ ම ලCෂ්යයක සිට එකී මායිමට ලම්බකව සැතපුම් එකක සෘජු දුරක් සිටින ලෙස නිර්ණය කරන කලාපය ඇතුළත පිහිටි සංචාරක හෝටල් පුළුල් කිරීම, ආරම්භ කිරීමට සැලැස්වීම නො කළ යුතුයි" යනුවෙනි.
විශේෂයෙන් ම ජාතික රක්ෂිත හා අභයභූමි වෙතට පිටතින් පැමිණෙන දූෂකකාරකයන් ගෙන් රැක ගැනීමේ සෘජු නීතිමය බලතල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති වීම විශාල අඩුවක් බවට පත් ව තිබිණි. එහෙත් 2009 අංක 22 දරන සංශෝධනය මගින් එම අඩුපාඩුව අනාවරණය කර තිබේ. එනම් යම් ජාතික රක්ෂිතයක ඇති ඉඩමකට, ඒ හරහා දිවෙන යම් දිය පාරක, ගංගාවක හෝ දොළ පාරක ජලයට යම් විෂ ද්රව්යයක්, අපද්‍රව්‍ය, කැළිකසළ හෝ ජලය දූෂණය කිරීමට ඉඩ ඇති යම් ද්රව්යයක් එක් කිරීම තහනම් බවයි.
මෙයට පෙර සඳහන් කළ ප්රධාන ප්රඥප්තියේ 5 වැනි වගන්තිය නව එකතු කිරීම් කිහිපයක් තුළින් 2009 අංක 22 දරන සංශෝධනය මගින් සංවර්ධනය කර තිබේ. එනම් ප්රධාන ප්රඥප්තියේ 5 වැනි වගන්තියේ 3 වැනි උපවගන්තියට අනතුරුව නව උපවගන්ති තුනක් එකතු කර තිබේ. එනම් නිසි අවසරයකින් (5(1) උපවගන්තිය යටතේ නිකුත් කළ) තොර ව යම් ජාතික උද්යානයකට ඇතුළු වී ඒ තුළ රැඳී සිටිමින් ඒ අවසර පත්රයේ යම් කොන්දේසියක් කඩ කරන තැනැත්තකු වරදකට වරදකරු වන බව දක්වා තිබේ. එමෙන් ම නිසි අවසර පත්රයක් (5(1) යටතේ නිකුත් කළ) නිකුත් කරනු ලැබ ඇති යම් තැනැත්තකු විසින් එම අවසර පත්රය නිකුත් කරනු ලැබූ කාර්ය සඳහා හැර වෙනත් යම් කාර්යයක් සඳහා එම අවසර පත්රය භාවිත කිරීම ද වරදක් බව දක්වා තිබේ. මෙහි දී 5 වැනි වගන්තිය සඳහා එකතු කර ඇති 6 වැනි උපවගන්තිය මගින් කාර්ය පටිපාටියේ යම් සරල කිරීමක් කර තිබෙනු දක්නට ලැබේ. එනම් ප්රධාන ප්රඥප්තියේ 5 වැනි වගන්තියට අලුතෙන් එකතු කරනු ලැබූ ඉහත සඳහන් වරදවල් දෙක වනසත්ත්ව අඩවි අරක්ෂක නිලයට වඩා අඩු නො වන නිලයක් දරන වනජීවී නිලධාරියකු විසින් අනාවරණය කරගනු ලැබූ විට එම පුද්ගලයා වරද පිළිගන්නේ නම් නඩු පවරනු ලැබීම වෙනුවට නියම කරනු ලැබිය හැකි යම් ගෙවීමක් සිදු කළ හැකි බව දක්වා තිබේ.
ප්රධාන ප්රඥප්තියේ 5 අ වගන්තියට ඉක්බිතිව එකතු කර ඇති නව වගන්තිය 5 ආ වශයෙන් නම් කර තිබෙන අතර එම වගන්තිය ජාතික රක්ෂිත භූමින්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ම වැදගත් වේ. එනම් 5 ආ වගන්තියේ සඳහන් වන්නේ රජයේ ඉඩමක් මත පිහිටි යම් ජාතික උද්යානයකට, ස්වාභාවික රක්ෂිත භූමියකට හෝ සමුද්රීය ජාතික උද්යානයකට ඇතුළු වීමට හෝ ඒ තුළ රැඳී සිටීමට අවසර ලැබී ඇති තැනැත්තකු එම ස්ථානයට තර්ජනයක් හෝ හිරිහැරයක් හෝ විය හැකි බවට හෝ එම ස්ථානය තුළ හිරිහැරයක් හෝ බාධාවක් සිදු කරමින් සිටින බවට නියමිත නිලධාරියාට පෙනී යන අවස්ථාවක එම තැනැත්තාට එම ජාතික උද්යානයට, ස්වාභාවික රක්ෂිත භූමියට, සමුද්රීය ජාතික උද්යානයට හෝ අභය භූමියට ඇතුළු වීමට අවසර දීම ප්රතික්ෂේප කරනු ලැබිය හැකි ය. නැත හොත් එම ජාතික උද්යානයෙන් ස්වාභාවික රක්ෂිත භූමියෙන්, සමුද්රීය ජාතික උද්යානයෙන් හෝ අභය භූමියෙන් වහා ම පිට වන ලෙස ඔහුට අණ කරනු ලැබිය හැකි ය. නැත හොත් එම ස්ථානවලින් ඔහු ඉවත් කරනු ලැබිය හැකි ය." යනුවෙනි.
සංශෝධිත පනතේ 6(2) (අ) උප වගන්තිය මෙහි දී විශේෂයෙන් සලකා බැලිය යුතු ය. එහි සඳහන් වන්නේ අධ්යක්ෂ ජනරාල්වරයා හෝ නියමිත නිලධරයා විසින් බලය පවරනු ලැබුව හොත් මිස කිසි ම තැනැත්තකු විසින් යම් ජාතික රක්ෂිතයක් හෝ අභය භූමියක් තුළට කිසි ම සතකු හෝ ශාකයක් හඳුන්වා දීම, ඒ තුළ යම් සතකු දිගේලි කිරිම, නිදහස් කිරීම හෝ මුදා හැරීම නො කළ යුතු බෙවයි. මෙහි දී වඩා වැදගත් වන්නේ 2009 අංක 22 දරන සංශෝධනයට පෙර "ශාකයක් හඳුන්වා දීම" යන්න ඇතුළත් නො වීම ය. එම තත්ත්වය තුළ ආක්රමණශීලී ශාක ආදිය එම භූමීන්ට ඇතුළු වීමේ අවදානමක් නිරන්තරයෙන් ම දැකිය හැකි විය. එහෙත් නව සංශෝධනයත් සමග එම දුර්වලතාව මග හැරවීමට කටයුතු කර තිබේ.
එමෙන්ම ජාතික රක්ෂිත භූමියක මායිමේ සිට සැතපුමක කලාපය තුළ පෞද්ගලික හෝ රජයේ හෝ යම් තැනැත්තකු හෝ සංවිධානයක් විසින් අධ්යක්ෂ ජනරාල්වරයා ගේ පූර්ව ලිත අනුමැතියකින් තොර ව කවර ආකාරයක හෝ යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදු නො කළ යුතු බව සංශෝධිත පනතේ 9 අ (1) වගන්තියේ සඳහන් වේ. මේ සඳහා කරනු ලබන සැම ඉල්ලීමක් ම පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් සමග ඉදිරිපත් කළ යුතු බව 9 අ (2) උපවගන්තියේ දක්වා තිබේ.
සංශෝධිත පනතේ 2(2) උපවගන්තියට අනුව අමාත්යවරයාට නියෝගයක් මගින් යම් භූමියක් අභයභූමියක් හෝ වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්රකාශයට පත් කළ හැකි ය. මෙහි දී අභය භූමියක් තුළ රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික ඉඩම් ද තිබිය හැකි ය. අභය භූමියක් තුළ සියලු සතුන්ට ආරක්ෂාව ලැබෙන අතර පනතේ 7 වැනි වගන්තියට තුළ ඒ තුළ තහනම් ක්රියාවන් දක්වා තිබේ.
(i) තුවක්කුවක් පත්තු කිරීම, යම් වන සතකුට හිරිහැර වන හෝ හිරිහැර විය හැකි හෝ අන් කිසි ක්‍රියාවක් කිරීම හෝ, එවැනි යම් වන සතකු බෝ වන ස්ථාන කෙරෙහි බාධාවක් වන හෝ බාධාවක් විය හැකි ක්‍රියාවක් කිරීම.
(ii) යම් වන සතකු දඩයම් කිරීම, වෙඩි තැබීම, මැරීම හෝ අල්ලා ගැනීම හෝ මැරුණු හෝ පණ ඇති යම් වන සතකු හෝ එකී සතකු ගේ යම් කොටසක් තම සන්තකයෙහි හෝ පාලනයෙහි තබා ගැනීම
(iii) උරගයන් ගේ හා පක්ෂීන් ගේ කැදැලි හෝ බිත්තර විනාශ කිරීම හානි කිරීම හෝ ගැනීම.
(iv) සතුන් ඇල්ලීමට හෝ මරණයට පත් කිරීමට උගුල් ඇටවීම.
(v) යම් සතකු දඩයම් කිරීමට, වෙඩි තැබීමට, තුවාල කිරීමට හෝ හානි කිරීමට සැඟවීමේ ස්ථානයක් තැනීම හෝ භාවිත කිරීම තහනම් වේ.
එහෙත් ඇතැම් ක්‍රියාවක් අභය භූමි තුළ ඇති පෞද්ගලික ඉඩම්වල සිදු කළ හැකි වුව ද රජයේ ඉඩම්වල එවැනි ක්‍රියාවක් කිරීම තහනම් වේ. එවැනි ක්රියාවන් පහත දක්වා තිබේ.
(i) ශාකවලට හානි කිරීම සහ විනාශ කිරීම.
(ii) වගා කටයුතු හෝ වෙනත් භාවිතයක් පිණ්ස භූමිය කැණීම.
(iii) ශාක උදුරා දැමීම හෝ ඉවත් කිරීම.
(iv) ගින්නක් දැල්වීම හෝ රැගෙන යැම.
(v) සතුන් මරා දැමීම හෝ හානි කිරීම පිණිස යම් උගුලක්, උපකරණයක්, විෂ ද්රව්යයක් හෝ පුපුරන ද්රව්යයක් භාවිතය හෝ ළඟ තබා ගැනීම.
(vi) භූමිය එළිපෙහෙළි කිරීම.
(vii) බලපත්‍ර නොමැති ව තාවකාලික හෝ ස්ථිර ගොඩනැඟිලි ඉදි කිරීම හෝ එවැන්නක පදිංචි වීම.
(viii) පාරක් සකස් කිරීම හා භාවිත කිරීම.
මෙහි දී විශේෂ කරුණක් පිළිබඳව සඳහන් කළ යුතු ය. එනම් අභයභූමියක් තුළ සාමාන්යයෙන් තහනම් ක්‍රියාවක් වුව ද එය සිදු කිරීම සඳහා නීතිය හෝ චාරිත්‍ර හෝ ව්යවහාරය අනුව යම් අයිතියක් ඇති ජන කොටසකට එම අයිතිය අහිමි නො වන බව පනතේ 3(3) උපවගන්තිය මගින් දක්වා තිබේ. එහෙත් එවැනි අයිතියක් අඛණ්ඩව අවුරුදු දෙකක කාලයක් භුක්ති විඳීමෙන් වැළකී සිටින්නේ නම් එම අයිතිවාසිකම අතහැරියාක් ලෙස සලකනු ලබන බව පනතේ 3(4) උපවගන්තියේ දක්වා තිබේ.
වනජීවීන් ගේ ආරක්ෂාව හා ඔවුන් ගේ වාසස්ථාන රැක දීම වෙනුවෙන් ප්රකාශිත ආරක්ෂිත ප්රදේශ සඳහා ඉහළ මට්ටමේ නීතිමය රැකවරණයක් ලැබී ඇති බව මේ අනුව පැහැදිලි වේ. විශේෂයෙන් ප්රධාන ප්රඥප්තියට 2009 අංක 22 දරන පනතින් කළ සංශෝධනය තුළින් මේ ආරක්ෂාව වඩාත් ඉහළ තලයකට ගෙන තිබෙන බව ප්රකාශ කළ යුතු ය.